කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීහු වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සැරසෙති


(නිමල කොඩිතුවක්කු)

ප‍්‍රදේශීය සභා 149ක සේවය කරන කළමනාකරණ සහකාර සේවයේ අධි පන්තියේ පරිපාලන නිලධාරීන් ඉවත් කර ඒ සඳහා ශ‍්‍රි ලංකා පරිපාලන සේවයේ  නවක නිලධාරීන් පතිකිරීමේ උත්සාහයක රජය නිරත වන බව සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ලලිත් ධර්මසේන මහතා කොළඹදී  අද (7) පැවසීය.

රජය ගෙන ඇති එම තීරණය වහා හකුලා නොගත හොත් කළමනාකරණ සහකාර සේවයේ හැත්තෑ දහසකට අධික පිරිසක් සමඟ ඉදිරියේදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත වන බවද ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ ඔටර්ස් ක්ලබ්හීදී පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ලලිත් ධර්මසේන මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

     ‘‘ශ්‍රී ලංකාව පුරා පළාත් සභා 9ක  ප‍්‍රදේශීය සභා 271ක් පිහිටා තිබෙනවා. ඉන් ප‍්‍රදේශිය සභා 149ක සේවය කරන ලේකම්වරුන් ඉවත් කරලා ශ‍්‍රි ලංකා පරිපාලන සේවයේ  නවක නිලධාරීන් පතිකිරීමට පසුගියදා  අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුමත කරලා තියෙනවා.

පළාත් පාලන  විෂය පිලිබඳවත්, පළාත් පාලන නීති රීති පිළිබඳවත්  කිසිදු දැනුමක්,  අවබෝධයක්, පලපුරුද්දක් නැති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නවක නිලධාරීන් තමයි මේ විදියට පත් කරන්න යන්නේ.

මේ කැබිනට්  සංදේශය 1987 ප‍්‍රදේශීය  සභා පනතටත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවටත් පටහැනිව නීත්‍යානුකූල නොවන අන්දමින් තමයි කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙවන්නේ.

අපි ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන්  ඉල්ලා සිටිනවා වහාම මේ කැබිනට් පත‍්‍රිකාව අවලංගු කරලා පරිපාලන නිලධාරීන්ට හිමි විධායක තත්ත්වය ලබා දීම සඳහා විෂය බාර අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර මහතා ඉදිරිපත් කළ  කැබිනට් සංදේශය වහාම අනුමත කරන්න කියලා.

මේ  සංදේශය මගින් කළමනාකරණ සහකාර සේවයේ හැත්තෑදහසකට පමණ දැඩි අසිරුතාවයකට පත්වෙනවා. ඔවුන් ඉතා අසීරු තරඟ  විභාගයකින් සමත් වෙලා සීමිති පුරප්පාඩු  සංඛ්‍යාවක් සඳහා උසස් වෙන්න තිබිච්ච ප‍්‍රදේශීය සභා තනතුරත් මින් අහිමි කරලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් කලමනාකරණ සහකාර සේවයේ හැත්තැදහක්  නිලධාරීන්ගේ විරෝධය මේ රජයට අපි පළ කරනවා ‘‘ ලලිත් ධර්මසේන මහතා එහිදි පැවසීය.

මෙම අවස්තාව සඳහා පළාත් සභා මන්ත‍්‍රී සුසිල් කිදෙල්පිටිය, සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඞී. එම්. ඒ දිසානායක යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි