කසල තේ කිලෝ 50.000ක් පෙතියාගොඩින් අල්ලයි


බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
විදේශ රටවලට ආනයනය කරන හොඳ තේ කොළ වලට කලවම් කිරීම සඳහා ලොරියකින් රැගෙන ආ කසල තේ කොළ කිලෝ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් කැලණිය පෙතියාගොඩ ගබඩාවකට ගොඩ ගසමින්  සිටි පුද්ගලයන් තිදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව  පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය කියයි.

 
තේ කොළ විදේශ ගත කරන පෙතියාගොඩ පිහිටි ලියාපදිංචි සමාගමක් තුල හොඳ තේ කොළ සමඟ කසල තේ කලවම් කිරීමේ ජාවාරමක් සිදු වන බවට පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදු කර තිබේ.
 
ගබඩාව පරීක්ෂා කිරීමේදී  නුසුදුසු තත්ත්වයේ තේ කොළ අඩංගු කිලෝ 30, 40,50 බැගින් අඩංගු බෑග් සියයකට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
 
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන්ද පැමිණ කසල තේ සාම්පල ලබා ගැනීමෙන් පසු  කසල තේ ප්‍රවාහණය කළ ලොරි රථය සහ සැකකරුවන් තිදෙනා කැලණිය පොලිසියට බාර දුන්නේය.