(දයාරත්න ඇඹෝගම)
නාච්චාදුව කලුවිල වැව ඉහළ රක්ෂිතයේ අක්කර තිහක පමණ ප්‍රමාණයක් පිරිසක් විසින් අනවසරයෙන් අත්පත් කර ගෙන ගොවිතැන් කරන බව ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.
නියඟය නිසා මේවන විට නාච්චාදුව කලුවිල වැවේ ජලය නොමැති කමින් ගොඩ වී ජලජ ජිවී වලින් ගහණය වී ඇත.
නියං සමයේ වැව ගැඹුරු කර ජල ජීවි ශාක ඉවත් කර පිළිසකර කිරිමේ හැකියාව තිබුණද ඒ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මුනිවත රකිමින් සිටින බව ගොවිහු පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාච්චාදුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ උප ලේකම් පි.පි.අමරජිව මහතා මෙසේ පැවසීය.
නාච්චාදුව කලුවිල වැව මේවන විට සම්පුර්ණයෙන්ම ගොඩ වෙලා. වැව යටතේ කුඹුරු අක්කර 700 ක් පමණ වගා කරනවා. මේ යල් කන්නයේ වගා කරන්න තරම් ජලයකුත් නැහැ. වැව සම්පුර්ණයෙන්ම ජපන් ජබර වලින් පිරිලා. මේ වැව ඉතිහාස ගත වැවක් දේශ සංචාරක රොබට් නොක්සන් මහතා ලංකාවට පැමිණ අවස්ථාවකදී වැවේ ගසක් යට හිද විඩාව නිවා ගෙන ගිය බවත් පොත්පත්වල පවා සටහන් වී තිබෙනවා.
ඒ අතර වැව උඩ රක්ෂිත අක්කර 30 පමණ ඉඩම් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන වගා කරනවා. මේ හේතුව නිසා වැව යටතේ කුඹුරු හිමියන්ගේ කුඹුරු සියල්ල යට වෙනවා. ගොවිතැන් කරන කාලේ සියලුම ගොවීන් මේ හේතුව නිසා දැඩි අපහසුතාවයට පත් වෙනවා.
ඒත් මේ ගැන වගකව යුතු කිසිවෙක් මෙතෙක් පියවර ගෙන නැහැ. නියං කාලයේ වැවේ මේ තියන ජපන් ජබර ඉවත් කරලා වැව හාරන්න පුළුවන්කම තිබුණත් ඒ ගැන කටයුතු කරන්නේ නැහැ.
අපි ඉල්ලා සිටින්නේ මේ අනවසර වගාවන් සම්බන්ධයෙන් නීතිමය පියවරක් අරන් වැව අලුත්වැඩියා කරලා දෙන්නයි කියන එකයි.
මේ සම්බන්ධයෙන් අප වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතාගෙන් කළ විමසුමේදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා සුදුසු පියවරක් ගන්නා බවයි.