පද්මා කුමාරී කංකානම්ගේ
කල්පිටිය, මනල්තෝට්ටම, වන්නිමුන්දලම, තලවිල යන ගම්මානවල ඇතැම් ප්‍රදේශයන්හී විදුලිය බිද වැටීම පැය 32ක සිට තවමත් පවතින බව කල්පිටිය පොලිසිය කියයි.
එමෙන්ම නාරක්කල්ලිය, පනයඩිය ,මාම්පූරිය යන ගොවි බිම් ආශ්‍රිත විදුලි විසන්ධිය තවමත් පවතින බවත් ගොවීන්ගේ විදුලිය බිද වැටීම සිදුවී ඇත්තේ ඉකුත් සදුදා දහවල් සිට බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ පැවසූහ.
මෙම විදුලිය බිද වැටීම් නිසා ගොවියන්ගේ දෛනික ජල සැපයුම ඇණ හිටීම නිසා දුෂ්කරතාවයකට මුහුණ පා තිබේ.
පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිසා ලේකම් එන්.එම්.එන්.චිත්‍රා නන්ද මහතා අද (6) එතුමාගේ කාර්‍යාලයේදී හදිසි සාකච්ඡාවක් ද කැඳවා තිබිණි.
පුත්තලම පොලිස් අධිකාරී ජේ.ඒ.චන්ද්‍ර සේන , වයඹ පළාත් සභා මන්ත්‍රී එන්.ටී.එම්. තාහීර් , කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.එන්.එම්.ඉන්ෆාස් , කල්පිටිය සහ නොරොච්චෝල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ විදුලි බල මණ්ඩලයේ නියෝජිත කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම සාකච්ඡාව පිළිබඳව කළ විමසීමේ දී පුත්තලම දිසා ලේකම් එන්.එම්.එන්.චිත්‍රා නන්ද මහතා ප්‍රකාශ කළේ බිද වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට කාර්මික ශිල්පීන් එම අදාළ ප්‍රදේශවලට යෑමට බිය වී ඇති බවයි.
පුත්තලම දිසා ලේකම්වරයා මෙසේද කීය.
"අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් පොරොන්දු වුනා පොලිස් ආරක්ෂාව ලබා දෙන්න.මහජන නියෝජිතයින් ජනතාවගෙන් හිරිහැරයක් ඇති නොවන බවට වග වුණා.ඒ අනුව ඔවුන් අද (6) විදුලිය ලබා දෙන බව ප්‍රකාශ කළා."
පසු ගිය 3 වැනිදා නිවසක ආරක්ෂාව පිණිස විදුලිය විසන්ධි කිරීමට පැමිණෙමින් සිටි විදුලි බළ මණ්ඩලයේ කාර්මිකයින් රැගත් රියකට අලාභහානි සිදු කිරීම කාර්මික නිලධාරියෙකුට සහ රියදුරාට කිසියම් පිරිසක් කර්ඹ ප්‍රදේශයේ දී පහර දීමේ සිදුවීමත් සමඟ සමස්ත කල්පිටි අර්ධ දීපයේම විදුලිය බිද වැටිණි.
අනතුරුව පැය 15 කට වැඩි කාලයක් අඛණ්ඩ විදුලිය විසංධියට එරෙහිව ජනතාව දැවන්ත උද්ගෝෂණයක නිරත වූහ. එදින පස්වරුවේ විදුලිබලය ලැබීමත් සමඟ උද්ඝෝෂකයෝ විසිර ගියහ.