කල්පිටියේ දින දෙකක් විදුලිය නෑ



 
(පද්මා කුමාරී කංකානම්ගේ )
                          
කල්පිටිය අර්ධදීපයේ ප්‍රදේශ රැසකම පැය 48 කට වැඩි විදුලි විසන්ධියක් පවතින බවට ජනතාව චෝදනා නගති.                                   
කල්පිටිය, මනල්තෝට්ටම, වන්නිමුන්දලම, තලවිල යන ගම්මානවල,ඇතැම් ප්‍රදේශයන්හී විදුලිය බිඳ වැටීම තවමත් පවතින බව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා තහවුරු කළේ ය.                                        
නාරක්කල්ලිය, පනයඩිය මාම්පූරිය යන ගොවි බිම් ආශ්‍රිත විදුලි විසන්ධිය තවමත් පවතින බව ගොවි සංවිධාන නියෝජිතයකු වූ නාරක්කලිය සිරිල් ඇලෙක්සැන්ඩර් මහතා පැවසුවේ ය.


බොහෝ ගොවීන්ගේ විදුලිය බිඳ වැටීම් ඉකුත් සදුදා දහවල් මෙන්ම අඟහරුවාදා අලුයම සිට ද වන බව එම මහතා පැවසුවේ ය.                                    


මෙම විදුලිය බිඳවැටීම් නිසා විශේෂයෙන්ම ගොවියන්ගේ  දෛනික ජල සැපයුම ඇණ හිටීම නිසා ඉමහත් දුෂ්කරතාවයකට මුහුණ පා ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.


පවතින වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින්,පුත්තලම දිසා ලේකම් එන්.එම්.එන්.චිත්‍රා නන්ද මහතා 6 දින සන්ධ්‍යාවේ එතුමාගේ කාර්යාලයේ දී හදිසි සාකච්ඡාවක් කැඳවා තිබිණි.  

                               
පුත්තලම පොලිස් අධිකාරී ජේ.ඒ.චන්ද්‍ර සේන,වයඹ පළාත් සභා මන්ත්‍රී එන්.ටී.එම්. තාහීර්,කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.එන්.එම්.ඉන්ෆාස්,කල්පිටිය සහ නොරොච්චෝල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ විදුලි බළ මණ්ඩලයේ නියෝජිත කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී වී තිබිණි.