(මනෝප‍්‍රිය ගුණසේකර)
2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවි, අත් බොම්බ සහ පතුරම් තොගයක් ළඟ තබාගත් බවට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සමඟ චෝදනා ලැබ සිටි ‘කරුණා‘ පාර්ශවයේ ආධාරකරුවන් බව කියන තිදෙනා කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා නිදොස් කොට නිදහස් කළේය.
එම විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට නීතීපතිවරයා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එම විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කළේය.
එලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ‍්‍රමනියම් නමැති තිදෙනාය.
මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපතී ඌවතැන්නේ සුමන හා මාවෙලතැන්නේ සුමේධ යන හිමිවරුන්ට එරෙහි නඩුව ලබන මස 07 වැනිදා සිට විභාග කිරීමට විනිසුරුවරයා නියම කළේය.
2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයක් වන 2010 ජනවරී 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේදී ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතීඥවරයා අධිකරණය අමතමින් මේ සම්බන්ධයෙන් පවත්වන සාක්කි විභාගයේදී ගිනි අවි තොගය ලඟ තබාගත් බවට හෝ එම ගිනි අවි ප‍්‍රවාහනය කළ බවට විත්තිකරුවන් තිදෙනාට එරෙහිව සාක්කි ඉදිරිපත් වී නොමැති හෙයින් ඔවුන් තිදෙනාට එරෙහි නඩුව ඉදිරියට ගෙන යෑමට අදහස් නොකරන්නේ යැයි කීය.
ඉදිරිපත් කරුණු සළකා බැලූ විනිසුරුවරයා අදාළ නියෝගයන් නිකුත් කළේය. මෙම නඩුව ලබන මස 07 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.

