සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකරන සුදුසුකම් සම්පූර්ණ කර නොමැති විදෙස් වෛද්‍යවරයකු සම්බධයෙන් තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව විරෝධතාවයක් දැක්වූවද මෙතෙක් ඒ සම්බන්ධ කිසිම පියවරක් ගෙන නොමැති බවත් මේ හේතුවෙන් එම වෛද්‍යවරයාගෙන් හෘද සැත්කම් සිදුකර ගන්නා රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව අද (17) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.
එහි දී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සාමාජික ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය මංගල ගුණතිලක මහතා මෙසේ කීවේය.
" අපි මේ විරෝධතාව දක්වන්නේ පුද්ගලික කාරණාවකට නොවෙයි. 2012 වර්ෂයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය වෘත්තික සංගම් සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් සහ ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙන විදෙස් විශේෂඥ වෛද්‍යවරුන් නියාමනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා.
එහිදී අපේක්ෂාව වුණේ සුදුසුකම් නොමැති විදෙස් වෛද්‍යවරුන් සේවය කිරීමට පැමිණීම නිසා ජනතාවට සිදුවන හානිය නැතිකර ජීවිත සුරක්ෂිත කිරීමයි. එහි දී විශේෂයෙන්ම විදේශීය විශේෂඥ වෛද්‍යවරයෙක් මේ රටේ සේවය කිරීමට අනුමැතිය ලබාගැනීමේ දී තම මව් රටේ වෛද්‍ය සභාවෙන් ලබා ගන්නා සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට එම ප්‍රතිපත්ති ලේඛනයේ 24 වැනි පිටුවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. "
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත් සැත්කම් සඳහා පැමිණෙන එංගලන්ත වෛද්‍යවරයකුට එංගලන්ත වෛද්‍ය සභාව නිකුත් කරන එම බලපත්‍රය (license to practice) නොමැති බවයි.
ඔහුට එම බලපත්‍රය 2015 වර්ෂයෙන් පසු ලැබී නොමැති බවත් දැනට එම වෛද්‍යවරයා විශ්‍රාම ලබා ඇති බවත් 67 වැනි වියේ පසුවන බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම මාධ්‍ය සාකච්ඡාවේ දී කියා සිටියේය.
මෙම විදේශීය වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ සිදුකළ සැත්කම් වලදී මරණ ඇතුළුව සංකුලතා වාර්තාවීම හේතුවෙන් ඔහුගේ සුදුසුකම් සම්බන්ධව සොයා බැලීමේදී මෙම කරුණු අණාවරණය වූ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව එම වෛද්‍යවරයා තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකයේ සැත්කම් කිරීම සඳහා පැමිණීම නීත්‍යානුකුල නොවන බැවින් එයට තම සංගමයේ දැඩි විරෝධය දක්වන බව ද ඔවුන් පවසයි.
"එංගලන්තයේ රෝහල් වල සේවය කරන්න දෙන බලපත්‍රය වත් හිමි නොවූ වෛද්‍යවරයකුට අපේ රටේ වැඩකරන්න දෙන්න හැකියාවක් නැහැ. මේ බලපත්‍රය නොමැති වෛද්‍යවරයකුට එංගලන්තයේ දී අඩුම ගණනේ පැරසිටමෝල් පෙත්තක්වත් නිකුත් කරන්න බලයක් දෙන්නේ නැහැ. ඔහු බලපත්‍රය අරගෙන ඇවිත් වැඩ කරනවානම් ගැටළුවක් නැහැ.
මෙය රටේ හදවත් රෝගීන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. පසුගිය කාලයේ ඔහු සිදුකළ සැත්කම් වලින් ප්‍රශ්නගත මරණ දෙකක් වාර්තා වුණා. එයින් එක් මරණයක් කුඩා දරුවකුගේ, එය මා සැත්කමක් සඳහා නිර්දේශ නොකළ එකක්. මෙම මරණය සම්බන්ධව මා වෛද්‍ය සභාවට පැමිණිලි කර දැනට මාස හයක් වෙනවා. තවම උත්තරයක් නැහැ.
මෙම විදේශ වෛද්‍යවරයා ළඟදී දිනක නැවත කරාපිටිය රෝහලේ සැත්කම් සඳහා පැමිණෙන බව ආරංචියි. මෙය ඉතාමත් නරක පූර්වාදර්ශයක්. විදේශීය වෛද්‍යවරයකු ලංකාවේ රෝහල්වල සැත්කම් සඳහා සම්බන්ධ විය යුතු ආකාරය පිළිබඳව තිබෙන එකඟතා ගිවිසුම අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. මේ ගැටලුව සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත්නම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. "
මෙම වෛද්‍යවරයා සතු දැනට කරාපිටිය රෝහලේ ස්ථාපිත කර තිබෙන "එක්මෝ" නමැති රුධිරය පිරිසිදු කිරීමේ යන්ත්‍රය සම්බන්ධව ද ගැටලු කිහිපයක් පැන නැගී ඇත. එම යන්ත්‍රය රෝගියෙක් සඳහා යොදා ගැනීමේ දී එයට අවශ්‍ය ද්‍රව්‍ය සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 12ක් පමණ වැය කිරීමට සිදුවන බව ද එම යන්ත්‍රය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කරාපිටිය රෝහලේ කිසිම වෛද්‍යවරයකු පුහුණු කර නොමැති විදේශ වෛද්‍යවරයා සේවය කරන අවස්ථාවල පමණක් එය ක්‍රියාත්මක කරන බව ද පැවසේ.
එමෙන්ම එම යන්ත්‍රයට යොදා ගන්‍නා අමුද්‍රව්‍ය ගෙන්වන ආයතනය පිළිබඳ සොයා බැලූ විට එම නමින් ලියාපදිංචි ආයතනයක් අදාළ එංගලන්ත වෛද්‍යවරයාගේ හිමිකාරිත්වය යටතේ තිබෙන බව ද ඔවුහු කියති.