කරාපිටිය වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අමාරුවේ


(ජේ.කේ.එල් චාමින්ද , ඩි.ජි.සුගතපාල)
 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මගින් අද (27) කරාපිටිය ශික්ෂණ රෝහලේදි ආරම්භ කළ වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන්  ප්‍රථිකාර ගැනිම සදහා  බාහිර රෝගි අංශයට පැමිණි රෝගිහු දැඩි අසරණ තත්වයට පත්වුහ. 

මෙම වැඩවර්ජනය නිසා රෝහලේ සායනික කටයුතු වලට බාධා ඇති වී ඇති අතර  ඇතැම් සායන පවත්වාගෙන යාමටද නොහැකි තත්වයක් ඇති වී තිබේ.
 හදිසි සැත්කම් කටයුතු හැර සෙසු සැත්කම් කටයුතු කරගෙන යාමටද මෙම  වර්ජනය නිසා බාධා පැමිණ ඇත. එහෙත් මේ පිළිබඳව විමසීමේදී  රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සුසන්ත මහතා සදහන් කළේ රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි.

 වැඩවර්ජනය පිළිබද අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාවේ සම ලේකම් වෛද්‍ය කංචිත සමරත්න  මහතා මේසේ කිවේය

‘ රජයේ නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන සියලුම වෛද්‍යවරු මෙම වැඩ වර්ජනයට එක්ව සිටියා. මෙම වර්ජනය ඊයේ (26)  පස්වරු 4.00ට අවසන් කිරිමට අපේ සංගමය රැස්වි තින්දු කළා.  ප්‍රශ්නගත බ්‍රිතාන්‍ය ජාතික විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාගේ  ප්‍රශ්නය ගැන  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෛද්‍ය සභාව සමග සාකච්ඡා කිරිමට තින්දු කරලා තියෙනවා.

විදේශිය විශේෂඥ වෛද්‍යවරයකු මෙරටට පැමිණ සේවය කිරිමේ දි ක්‍රියා කළයුතු නිත්‍යනුකූල  තත්ත්වය ගැන අපි වෛද්‍ය සභාව සමග සාකච්ඡා කරනවා.  වෛද්‍ය වර්ජනය නිසා සායනික කටයුතු බාහිර ප්‍රථිකාර අංශයේ කටයුතු ඇනහිටියා. හදිසි සැත්කම් හා  හදිසි ප්‍රථිකාර කටයුතු වලට  අපි කිසිදු බාධා කිරිමක් කළේ නැති බවද වෛද්‍ය කංචිත සමරරත්න මහතා සදහන් කළේය.