(ඩයනා උදයංගනී)
යාපනය, කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්ක තුනේ හිටපු අණ දෙන නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ජාතික සංහිඳියාව, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කැබිනට් මණ්ඩලය හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළ බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා රටේ හමුදාවන්ට ගෞරවයක් ලබාදුන් නිලධාරියෙකු බව කී ඇමති පාඨලී චම්පික රණවක මහතා උතුරට එක්වී මිස වෙන්ව ඉදිරියට යා නොහැකි බව වටහා ගත් හා ආරක්‍ෂක කණ්ඩායම් සමඟ එකට සිතන ජන කණ්ඩායම් සිටීම රටට ශක්තියක් බව ද සඳහන් කළේය.
යුද හමුදාව උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි බලහත්කාරයෙන් සිටිනා බවත්, ජනතාව එයට අකමැති නිසා කඳවුරු ඉවත් කරගත යුතු බවත් ඇතැම් ජාතිවාදීන් ප්‍රකාශ කරද්දීත් හමුදා නිලධාරියෙකු මාරු වී යන අවස්ථාවක හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සංවේදී වී හඬා වැටීම සහජීවනය පිළිබඳ හොඳ උදාහරණයක් බවද ඇමතිවරයා කීවේය.
එමෙන්ම එම නිලධාරියා ඉතා මානුෂීයව කටයුතු කර ඇති බව මෙයින් පැහැදිලි වන්නේ යැයි ඇමතිවරයා කියා සිටියේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේදී අද (13) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.