මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ඇතුළු හමුදා සාමාජිකයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් හබයාස්කෝපූස් රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ බිරින්ඳෑවරුන් ගොනු කළ රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය රහස් පොලීසි අධ්‍යක්ෂවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අද(29) නොතීසි නිකුත් කළේය.
මෙම රිට් පෙත්සම විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල යන මහත්ම මහත්මීන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් ගේ බිරින්ඳෑවරුන් වන ටී.සුදර්ශනී, පී.නදීකා,පී.නියෝමි සහ එම්.කුමාරරත්න යන මහත්මීන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිසියේ අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, එහි සමූහ කොල්ලකෑම් පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති ජේ.වී.නිරෝෂාන් සිල්වා, එහි සහකාර පොලිස් අධිකාරී ෂර්නි අබේසේකර, ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාරියන්ගේ සැමියන් වන ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් ආර්.එම්.ප‍්‍රියන්ත කුමාර,කෝප‍්‍රල් අනුර ජයලත්, ලූතිනන් කර්නල්වරුන් වන ටී.ටී.ඩී.ප‍්‍රමෝද් සිරිවර්ධන සහ එස්.ඒ කුමාරරත්න යන මහත්වරු පසුගිය අගෝස්තු 24 වැනිදා රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත්, නමුත් පසුව ඔවුන් අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා ඔවුනට එරෙහි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයෙන් රැඳවුම් නියෝග මත රඳවා සිටින බවද පෙත්සම්කාරියන් කියා සිටී. එලෙස රඳවා තබා ගැනීම නීතියට පටහැනි බවත්,එම නියෝග යටතේ පැය 24කට වඩා රඳවා තබා ගත නොහැකි බවත් මෙමඟින් ඔවුන්ගේ මූලිත මිනිස් අයිතාවාසිකම් කඩවී ඇති බව සඳහන් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කාරියෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

