කරන්නාගොඩට රට යන්න තහනම්


(නිමන්ති රණසිංහ)
 
කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවකු වන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (23)  නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් වන හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ සහ හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’ ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් හත්දෙනා බන්ධනාගාරය අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, ඔවුන් ලබන 7 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් නියෝග නිකුත් විණී.

ඒ අනුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ, හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’, සංජීව ප‍්‍රසාද් තිලංග සේනාරත්න, අන්නච්චි නොහොත් ඉඹුලාවල උපුල් චමින්ද, හෙට්ටි හැන්දි, වර්ණකුලසූරිය ඇන්ටන් ප‍්‍රනාන්දු, සහ නාවික හමුදා සුළු නිලධාරී සම්පත් ජනක කුමාර, යන අයවලූන්ය.