කමිටු ශාලාව නුදුන්නැයි රෝසිට මන්ත්‍රීවරුන්ගේ විරෝධය


ජයන්ත සමරකෝන් සහ  ප‍්‍රියන්ත ජයලත් 
 
කොළඹ මහ නගර සභාවේ ස්ථාවර කාරක සභා කමිටු හතරකට සභාපතිවරුන් තෝරා ගැනීම සඳහා අද (23) පැවැති සාකච්ඡාට නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කමිටු ශාලාව ලබා නොදීම නිසා මන්ත‍්‍රීවරුන්ගෙන් ඇයට දැඩි විරෝධතාවයක් එල්ල වු බව වාර්තා වේ.

 
සාම්ප‍්‍රදායානුකූලව මෙතෙක් ස්ථාවර කාරක සභා කමිටු රැස්වීම් පවත්වා ඇත්තේ මන්ත‍්‍රී කමිටු ශාලාවේ වුවද නගරාධිපතිනිය විසින් වෙනම රැස්වීමක් එම කමිටු ශාලාවේ පැවැත්වීම එම විරෝධයට හේතූ වූ බව ඊට සහභාගී වු නාගරින මන්ත‍්‍රිවරයෙක් ලංකාදීපයට පැවසීය.
 
එම අවස්ථාවේ මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වු දැඩි විරෝධතා මධ්‍යයේ නගරාධිපතිනිය කමිටු ශාලාවේ දොරවල් වසා දමා තිබූ බවද එය නගර සභා සම්ප‍්‍රදායට පටහැනි ක‍්‍රියාවක් බවද එම මන්ත‍්‍රීවරයා කීය.
 
මෙදින ස්ථාවර කාරක සභා කමිටු හතරකට සභාපතිවරුන් පත්කිරීමට නියමිතව තිබූ බවද ඒ සඳහා සෑම පක්‍ෂයකටම අයත් නාගරික මන්ත‍්‍රීවරුන් තිහකට අධික සංඛාවක් සහභාගි වී සිටි අතර මෙය දැක බලා ගැනීම සඳහා ඔවුන්ගේ ආධාරකරුවන් විශාල පිරිසක්ද නගර සභාව වෙත පැමිණ සිටි බවද වාර්තා වේ.
 
කෙසේ වෙතත් සාම්ප‍්‍රදායට පටහැනිව වුවද මෙම කමිටු රැස්වීම් හතර පැරණි නගර සභා රැස්වීම් ශාලාවේ පවත්වා ඇති බවද මෙය නීතී විරෝධී ක‍්‍රියාවක් බවද නගර සභාවේ උසස් නිලධාරීයෙක් පැවසීය. මේ තත්වය පිළිබඳව විමසීම සඳහා නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය දුරකතන මඟින් සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සහ කළත් එය ව්‍යාර්ත විය.