කම්කරු කාර්යාලයන්හි වැඩ ප්‍රමාද යැයි පැමිණිලි රැසක්


(විනීතා එම්  ගමගේ)


කම්කරු කාර්යාල වල වැඩ ප‍්‍රමාද වන බවට තමන් වෙත පැමිණිලි රාශියක් ලැබී ඇතැයි  කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රවින්ද්‍ර සමරවීර  මහතා ප‍්‍රකාශ කළේය. 


විවිධ සේවාවන් පතා කම්කරු කාර්යාලවලට එන ජනතාව තවමත් තැරුව්කරුවන්ට හසුවන්නේ යැයි ද අමාත්‍යවරයා කීය. 

මහජනතාවට ඇහුන්කම් නොදෙන නිලධාරීන්ට ස්ථානමරු ලබා දීමට වහාම පියවර ගන්නා බව ද සමරවීර මහතා පැවැසීය.


අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරු හා සහකාර කම්කරු කොමසාරිස්වරු වෙනුවෙන් කම්කරු අමාත්‍යංශයේ පසුගියදා පැවැති සම්මන්ත‍්‍රණයක් අමතමිනි. 


එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය. 


‘‘වතුකරයේ  අහිංසක ජනතාව නොයෙක් ප‍්‍රශ්න මත ජිවත් වන්නන්. ඒ පිරිස් පොඩි ප‍්‍රශ්නයකට පවා කම්කරු කාර්යාලයට පැමිණෙන විට විවිධ තැරුව්කාරයන්ට හසු වෙනවා. මේ අහිංසක මිනිස්සු සමහරක් කොළඹ දැකලවත් නැහැ. ඔවුන් ඔවුන්ගේ ප‍්‍රශ්න හමුවේ කොළඹ පැමිණි විට මෙවන් කූට ජාවාරම් කරුවන්ට හසු වෙනවා.


 මෙවන් අසාධාරනකම් වලින් අසරණ ජනතාව බේරා ගැනීම සදහා අපි මහ බැංකුව සමග එකතුවී ජංගම සේවයක් ද ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කර අවසන්. යම්කිසි සහායක් බලාගෙන පැමිණෙන මනුස්සයන්ට නොසලකා හරින විට දැනෙන වේදනාව කොහොමද කියලා තමන්ගේ හදවතෙන් මුළින්ම අහන්න. කොහොම වුණත් සේවා දායකයාගේ කටයුත්ත ප‍්‍රමාද කරන්න අපට බැහැ.


මොනවා හරි වුණාම මිනිස්සු උද්ඝෝෂණ කරනවා. බෝඞ් එල්ලන් පාරේ ඉන්නවා. බෝඞ් එල්ලගෙන ඉන්නකොට දේවල් ලැබෙනවා නම් හැමෝම බෝඞ් එල්ලන් ඉන්න පටන් ගනීවි. මේ සියල්ල පිටුපස  වෘත්තීය සමිති ඉන්නවා. ඒ වගේමයි හැකි සියළු දේ අපි වෘත්තීය සමිති සමග සාකච්චා කර ලබා දෙනවා. එම නිසා වඩා වැදගත් වන්නේ ප‍්‍රශ්නයක් නොවන විදියට පහසුවෙන් විශිෂ්ට සේවාවක් සේවා දායකයන්ට ලබා දීමට අධිෂ්ටාන කර ගන්න.’’  යැයි ද අමාත්‍යවරයා කීය.


මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් නිමල් සරණතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර, ඇතුලූ  දිවයිනේ සියළුම කම්කරු දෙපාර්තමේන්තු වලට අයත් සියළු ආයතන ප‍්‍රධානින් 50 කට අසන්න පිරිසක් සහභාගී වූහ.