කම්කරු ඇමතිගේ ලේකම් යැයි කියා මුදල් වංචා කරලා


 

(යොහාන් භාසුර)

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ඊශ්‍රායලයේ රැකියා දීම සඳහා මුදල් ගත් පුද්ගලයෙක් අද (5) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා දීම සඳහා ගාල්ල, බූස්ස සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචි තරුණයන්ගෙන් සැකකරු රුපියල් ලක්ෂ 3 බැගින් මුදල් ලබාගෙන තිබූ බවත් එම කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ඔහු අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.

ඊශ්‍රායල් රැකියා සඳහා කිසිඳු පුද්ගලයෙකුට මුදල් නොදෙන ලෙස අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශ අනුව අදාල පුද්ගලයා පිළිබඳව සැක සිතූ එම තරුණයන් කාර්යාංශය වෙත පැමිණිලි කළ බව කී එම කාර්යංශය අදාල පුද්ගලයා ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව ද සඳහන් කළේය.

සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හෙට (6) වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ද කාර්යංශය කීය.

ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා මෙම සැකකරුට මුදල් ලබාදී ඇති තැනැත්තන් වේ නම් 0112864241 යන අංකය ඔස්සේ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි කරන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.