
(රන්ජන් කටුගම්පොල)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව සඳහන් කරමින් ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් මිලියන 6.5 ක මුදලක් ඉමාඩ් සුබේරි නැමති ඇමරිකානූ ජාතිකයෙකුට ගෙවීම තුළින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසක් සිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්හ.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ඤාණරාජ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව පෙත්සන්කාර හිමියන් විසින් මීට පෙර කොළඹ සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වලට පුද්ගලික පැමිණිලි ඉදිරිපත් කළත් ඒවා එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළේය.
ඊට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවත් නීතිඥ ඥානරාජ් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
පෙත්සම්කාර තීනියාවල පාලිත හිමියන් වෙනුවෙන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥව ෆර්මාන් කාසීම් මහතා අධිකරණයට කියා සිටියේ වග උත්තරකාර හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් බවයි
දෙපාර්ශවය කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුකරය හරහා බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළහ.

