කපුවාත් බෝම්බයේ පිහිට සොයයි


 (බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පොලිස් නිලධාරීන් ලෙස වෙස් වලාගෙන පැමිණ වෛද්‍යවරයකුගේ දියණිය සහ බිරිඳ පැහැරගෙන රුපියල් කෝටි 10ක කප්පම් මුදලක් ලබාගැනීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අද (22) අතඅඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි.
 
අත්අංඩගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අතර දේවාලයක කපුවෙකු ද  සිටින බව පොලිසිය කියයි.

 සැකකරුවන් දෙදෙනා සමඟ බෝම්බ සෑදීමට යොදාගන්නා වෙඩි බෙහෙත්, සේවා නූල් සහ යකඩ බෝල විශාල ප්‍රමාණයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ කපුවාගේ පුතා සහ වෛද්‍යවරයාගේ දියණිය මීට වසර දෙකකට පමණ පෙර කලුතර ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා තිබේ.

 විදුහලේ  පැවැති සහතික පත් ප්‍රදානයකදී  වෛද්‍යවරයාගේ දියණිය  අංශ කිහිපයක් යටතේ සහතිකපත්‍ර රැසක් දිනා ගැනීම සහ  කපුවාගේ  දරුවා දක්ෂයකු වුවද ඔහුට පාසලෙන් කිසිම ඇගයීමක් ලබානොදීම හේතුවෙන් අමනාප වූ  ඔහු මෙය සැළසුම් කළ බව පරීක්ෂණවලදී අනාවරණය කරගෙන  ඇතැයි පොලීසිය කියයි.
 
සැලසුම පිළිබඳව දොඩංගොඩ පොලිසියට ලැබූණු  තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
සැළසුම ව්‍යර්ත වුවහොත් බෝම්බක්  පුපුරුවා බිරිද සහ දියණිය ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවද අනාවරණය වී ඇත.ප්‍රධාන සැකකරු වන කපු මහතාගේ දුරකතය පරීක්ෂා කිරීමේදී පොලිස් නිලඇදුමින් සැරසුණු ඡායාරූප තිබී සොයාගෙන ඇත.
 
සැකකරුවන් දෙදෙනාගෙන් පැය 48ක් රැදවුම් නියෝග මත ප්‍රශ්න කරන බවද පොලිසිය කියයි.