කප්පම්කරුවෝ ඉංජිනේරුවා පාරට ගෙනත් දමති


පසුගිය 18 වෙනිදා නයිජීරියාවේදී කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැර ගැනුණු ශ්‍රී ලාංකික ඉන්ජිනේරු වන ඩී. ඒ. කරුණාදාස මහතා නයිජිරියා වේලාවෙන් බදාදා (27) සවස 5ට පමණ කැලෑවක සිට කුඩා මාවතකට ගෙනත් දමා තිබු බව නයිජිරියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ. එල්. රත්නපාල මහතා පවසයි.

‘මෙතුවක් කල් අපිට කරුණාදාස මහත්තයා පැහැරගත් අය හමු වුයේ නැහැ. දුරකථන ඔස්සේ තමයි ඔහු සම්බන්ධ වෙලා තිබුණේ. කරුණාදාස මහත්තයා ගෙනත් දාපු පාළු තැන ඉඳලා දුරකථන ඇමතුමක් දීලා තමන්ගේ නිලධාරීන් දැනුවත් කර තියෙනවා. අදාළ සමාගමේ නිලධාරින් කරුණාදාස මහත්තයා තමන් ගාවට අරන් මේ වනවිට දැඩි ආරක්ෂාවක් යටතේ ඔහු රඳවාගෙන ඉන්නවා. ඔහු බේරා ගැනීම සඳහා ආදාළ සමාගම ලොකු කැපකිරීමක් කළා. ඒ වගේම අපේ විදේශ අමාත්‍යාංශය නිතර අපට උපදෙස් ලබා දුන්නා. නයිජිරියා රජයේ මැදිහත්වීමෙන් ආරක්ෂක අංශ විශාල වැඩ කොටසක් කළා. තව නොබෝ වෙලාවකින් අදාළ විදෙස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වරයා මා මුණ ගැහෙන්න එන්න ඉඩ තිබෙනවා. ඒ ආවොත් ඔහුත් සමග ඔබට කතා කළ හැකියි‘ මහකොමසාරිස්වරයා පැවසිය.

නයිජීරියා අගනුවර සිට මෙම ස්ථානයට අඩු ගණනේ කිලෝ මීටර් 400 ක් පමණ දුර ඇති බවත් දුරකථන සංඥා, වෙනත් සන්නිවේදන මාර්ග කිසිවක් ක්‍රියාත්මක නොවන බවත් කියති.