කඳුරට ව්‍යාපාරික මලුවල ලක්ෂ 71 ක රට සල්ලි


රුපියල් හැත්තෑ එක් ලක්ෂ අසූ පන්දහසක්  වටිනා විදේශ මුදල් තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ  වයස අවුරුදු 29 හා 34 වියේ පසුවන රාගල හා වටවල පදිංචිකරුවෝ වෙති.

මොවුහු රෙදි පිළි වෙළඳාමට යැයි කියමින් නිතර නිතර ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර යාම් ඊම් කරන බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

අත් අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් අතර ඇමරිකානු ඩොලර් 22,000 ක්, යූරෝ 25900 ක් හා ස්විස් ෆ්‍රෑන්ක් 4500 ක් තිබු බව රේගුව කියයි.

මොවුන් දෙදෙනා සිංගප්පූරු ගුවන් සේවයට අයත් යු.එල් 306 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා යාමට අද  අළුයම 1.55 ටපමණ  කටුනායකට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කුමාර විජේසුරිය මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.ජී නිමල් තිලක, ගාමිණී කරුණාතිලක, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ලාල් වීරකෝන් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩන්කන් හෙට්ටිආරච්චි, ජේ.යු අහංගම, එස් වනිගතුංග, අසංක ප්‍රියදර්ශණ සහ දිමුතු ධනංජනී යන නිලධාරීහු සිදුකරති.