මහනුවර වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා එය සාර්ථකව නිමකිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශය සාම්ප්‍රදායානුකූලව නිලංග දෑල දියවඩන නිලමේ විසින් අද(30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබීය.
පෙරහැරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනපති පිළිගත්තේය.
සාම්ප්‍රදායානුකූලව පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත තිළිණ හා සම්මාන ප්‍රදානය ද ජනාධිපති අතින් සිදුවිය.
ජනපති බිරිය ජයන්ති සිරිසේන මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)








