කන්තෝරුවලට හිටිහැටියෙ කඩා පනින බලඇණි


(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය දේපළ  මැතිවරණ කටයුතුවලට යොදාගන්නේ දැයි   රාජ්‍ය ආයතනවලට  හදිසියේ කඩා පැන  සෙවීමටත් එවැනි නීති විරෝධී ක්‍රියා සිදුවන ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්   වෙනම කණ්ඩායම් පත්කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීම පිළිබඳ පැමිණිලි සිය ගණනක් කොමිෂන් සභාවට දැනටමත් ලැබී ඇතැයි පැවසූ සභාපතිවරයා  එවැනි ක්‍රියා පිළිබඳව පැමිණිලි  ඉදිරිපත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

මෙවැනි සිද්ධීන් නිදහස්  හා  සාධාරණ ඡන්දයකට බාධාවන හෙයින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව පැවසූ සභාපතිවරයා රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදා නොගන්නැයි සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේය.

මැතිවරණ නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට මේ වනවිට පැමිණිලි 120 ක් පමණ ලැබී ඇත. මින් පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ රාජ්‍ය දේපළ  මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම ඇතුළු  මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්  බව  එම කොමිසම පවසයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක්  මෙතෙක්  වාර්තා වී නැතැයිද   සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් සිදුවිය හැකි යැයි විශ්වාස කෙරෙන ප්‍රදේශ විස්සකට විශේෂ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.