බිඟුන් මේනක ගමගේ
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක ධූරය ලබාදෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ ඉල්ලීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අදහස කතානායක කරු ජයසූරිය මහතා එහි මහලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයාගෙන් ලිඛිතව විමසන්නට අද කටයුතු කර ඇත.
කිසියම් පක්ෂයකින් තේරී පත් වූ මන්ත්‍රීවරු පිරිසක් , කණ්ඩායම් කිහිපයක් හෝ තනි කණ්ඩායමක් ලෙස ඒකරාශී වී තමන් කැමැති මන්ත්‍රිවරයෙකුට විපක්ෂ නායක ධුරය ලබා දෙන ලෙස ඉල්ලා සිටින විටක එම මන්ත්‍රීවරුන් තේරීපත් වූ පක්ෂයේ නිල මතය කවරක් ද යන්න විමසීම කථානායකවරයාගේ වගකීම යැයි ද ඒ අනුව මෙම විමසීම කර ඇතැයි ද කතානායක මාධ්‍ය අංශය පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වූ තමන් නියෝජනය කරන කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනෙකු අයත් යැයි ද ඒ නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබා දෙන්නැයි ද ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අට දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් ජූලි 30 වැනිදා කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.