කතානායක අසුනේ වාඩිවීම ගැන අරුන්දික සමාව ඉල්ලයි


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේදී ගැටුම්කාරී තත්ත්වයක් පැවති ඉකුත් නොවැම්බර් 16 වැනිදා තමන් කතානායක අසුනේ වාඩිගෙන සිටීම වරදක් නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

තමන් එය හිතා මතා නොකළ බව කී අරුන්දික ප‍්‍රනාන්දු මහතා තමන් කතානායක අසුනේ වාඩි ගන්නා විට පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹී හෝ සෙංකෝලය තැන්පත් කර නොතිබූ බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් එය වරදක් නම් කණගාටු වන බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද (8) පැවති තානාපති වරප‍්‍රසාද යටතේ නියෝග දෙවැනිවර කියවීම පිළිබඳ විවාදයේදී එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල සතුන් වත්තක මෙන් තත්ත්වයක් පැවති බව කී මුජිබර් රහුමාන් මහතා තානාපතිවරුන් එහිදී අත්පුඩි ගැසුවේ නම් ඒ පාර්ලිමේන්තුවක තිබිය යුතු හැසිරීම එම දිනවල නොතිබූ නිසා විය හැකි බව කීවේය.

කතානායක අසුනේ එදින නුසුදුස්සෙකු අසුන් ගෙන සිටි බව ද මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

අරුන්දික ප‍්‍රනාන්දු මහතා ඉන්පසු විවාදයට එක්වෙමින් එයට මෙම පිළිතුර ලබාදුන්නේය.