තරිඳු ජයවර්ධන
කතරගම සිද්ධිය ගැටුමක් දක්වා වර්ධනය නොවී පාලනය කර ගැනීමට නොහැකිවීම ගැන නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට දෝෂාරෝපණය කර තිබේ.
මෙවැනි සිද්ධි දුරදිග නොගොස් පාලනය කර ගැනීම ගැන කෙතරම් උපදෙස් දුන්නද ඒවා ක්‍රිවාත්මක නොකිරීමෙන් මෙවැනි ගැටුම්කාරී තත්වයන් ඇත්වන බව ද ඇමැතිවරයා කියා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් කර වහාම අවශ්‍ය පියවර ගන්නැයි ඇමැතිවරයා නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට නියෝග කළේය.
කතරගමදී පොලිසිය විසින් යතුරුපැදිකරුවකුට වෙඩි තැබීමෙන් පසු ස්ථානාධිපතිගේ නියෝග අනුව යතුරුපැදිය අපරාධ ස්ථානයෙන් ඉවත් කර යළිත් ගෙනැවිත් තැබූ බවට ද චෝදනාවක් එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදු කරන බව පොලිසිය කියයි.
වෙඩි තැබීමේ සිද්ධියට විරෝධතා පළ කළැයි කියන සියයකට ආසන්න පිරිසක් පොල්සිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිසිය පාරේ ගිය පිරිස්ද අත්අඩංගුවට ගත් බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

