කතරගම පෙරහර හෙටින් ඇරැඹේ


(එම්.කේ.නන්දසේන )
 
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යයේ, මංගල පෙරහර හෙට (03) රාත්‍රියේ අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය.

ධාතු කරඬුව හස්තිරාජයාගේ පිට තැන්පත් කර  අනතුරුව  සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහර අෂ්ටඵල බෝධිය වටා මහා දේවාලය පිටුපසින් ප්‍රදක්ෂිණා කර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්වේ. 

මෙසේ පිටත්වන පෙරහර ප්‍රධාන වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කරනු ඇත. මෙහිදී චිරාගත පුද සිරිත් ඉටු කිරීමෙන් පසු එම වීදිය ඔස්සේ ම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහා දේවාලය වෙත ගෙවැදීමෙන් පසු අද දිනය තුළ පෙරහර නිමාවට පත්වේ.

අලි ඇතුන් විශාල සංඛ්‍යාවක්ද උඩරට  පහත රට හා සබරගමු සම්ප්‍රදායන්ට අදාළ නර්තන කණ්ඩායම් රැසකින්ද, භක්ති කාවඩි, ගිනිකෙළි සංදර්ශන යනාදී විවිධාංග රැසකින් ද පෙරහර සමන්විත වේ.

පෙරහර මංගල්‍යයේ දෙවෙනි පෙරහර  බ්‍රහස්පතින්දා  (04) රාත්‍රියේ පැවැත්වේ.