කතරගම දේවාලයේ කප් සිටුවයි


(කේ ඩි දේවපි‍්‍රය )
               

ඓතිහාසික  රුහුණු මහා කතරගම දේවාලයේ 2018 වර්ෂයේ පැවැත්වෙන ඇසළ මංගල්‍ය සඳහා කප් සිටුවීම අද (30)  අලුයම යෙදුණු   සුභ  නැකතින් සිදු කෙරිණි.


මෙම කප් සිටුවා දින 45 ක් ගිය පසුව කතරගම  ඇසළ මංගල්‍ය ජුලි 13 වැනි දින ආරම්භ  වී දින 15 ක් පුරාවට පවත්වා ජුලි 27 වැනි දින අවසන් මහා පෙරහර පවත්වා ජුලි 28 වැනි දින දිය කැපීමේ මංගල්‍යයෙන් අවසන් වන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසිය.


මෙම කප් සිටුවීම සම්බන්ධව අදහස් දැක් වු රුහුණු මහා කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන සොමීපාල ටී රත්නායක මහතා පැවසුවේ  කතරගම ඇසළ මංගල්‍ය යනුවෙන් අදහස් කරන්නේ කතරගම කඳ කුමරුවන් හා වල්ලී දෙවඟනගේ විවාහ උත්සවය සනිටුවහන් කරන චාරිත‍්‍ර පෙරහරක් බවයි.


 මේ අනුව අතීතයේ දී විවාහයක් වන විට දී මගුල් මඩුවක් සෑදීමට සුභ මොහොතින් කණු සිටුවීම සිදු කර ඇති  බැවින් එම චාරිත‍්‍රය අනුව දුටුගැමුණු මහා රජතුමා විසින් නියම කළ රජ නියෝගයන්ට අනුව කතරගම දෙවියන්ගේ ඇසළ මංගල්‍ය සිදු කිරීමට පෙර මෙම කප් සිටවීම සිදු කරන බව සොමීපාල ටී රත්නායක කපු මහතා පැවසිය.


 අද කප් සිටවීමේ අවස්ථාව සඳහා කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ අධික්ෂණයෙන් සිදු කළ අතර  කප් සිටුවීම කතරගම දේවාලයේ පරම්පරික කපු මහතුන් විසින් සිදු කරනු ලැබීය.


මහා වනයෙන් රැගෙන එනු ලබන කප් කණූ වල්ලි අම්මා දේවාලයේ රහසිගතව තැම්පත් කර පසු දින උදෑසන අඩ අඳුරෙන්  කපු මහතුන් හා ආලාත්ති අම්මලා විසින් පෙරහැර මගින් කප්රුක් දේවාලය වෙත රැගෙන විත් කප් සිටවීම සිදු කරනු ලැබීය.


කප් සිටුවීමේ  අවස්ථාව දැක බලා ගැනීම පිණිස  හින්දු, බෞද්ධ බැතිමත්හු රැසක් කතරගම පුදබිම වෙත පැමිණ සියටියහ.