කතරගම තොරතුරු මධ්‍යස්ථානයත් ඉවතට


(එම්.එන්.පියරත්න)

කතරගම නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් කතරගම නගරයේ තිබූ තොරතුරු මධ්‍යස්ථානයද ඉවත් කරනු ලැබ ඇතැයි අනවසරයෙන් වෙළෙඳ සල් ඉදිකර ගෙන තිබූ වෙළෙන්ඳෝ චෝදනා කරති.

කතරගමට පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය තොරතුරු සහ රෝද පුටු ආදි මෙම ස්ථානයෙන් සැපයූ බව ඔවුහු කියති.මෙය ඉවත් කිරීම නිසා වන්දනා කරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් කතරගම නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.එස්.බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ කීය.

“කතරගම තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කළේ 1987 ගම් උදාවටයි දැන් එය ගරා වැටෙන තත්ත්වයට පත් වෙලයි තියෙන්නේ ඒ නිසා එය කොහොමත් ඉවත් කරන්නයි හිටියෙ.ඔය කියන තොරතුරු මධ්‍යස්ථානය පිළිවෙලකට ක්‍රියාත්මක වූවක් නොවෙයි.මුල් කාලයේ ආබාධිත වන්දනාකරුවන් සඳහා රෝද පුටු කීපයක් ඔය ස්ථානයේ තබා ගෙනහිටියා.වන්දනා කරුවන්ට තොරතුරු සැපයීමට නියමිත නිලධාරියෙක් හිටියෙ නැහැ.පසුව එය පෙරහර කාලෙට පොලිස් නිලධාරින්ගේ සහ රජයේ නිලධාරින්ගේ ගිමන් හලක් වශයෙන් පාවිච්චි කළා.ඉන්පසු ප්‍රාදේශීය දේශපාලන බලධාරියේ ආශිර්වාදය මත මෙය ඇතැම් පුද්ගලයින් අනවසරයෙන් අල්ලා ගෙන ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන ගියා.

නගර සැලැස්ම අනුව මෙම ස්ථානය ඉවත් කර ඇත්තේ ක්‍රමානුකූලව නව තොරතුරු මධ්‍යස්ථානයක් ඉදි කිරීමටටයි.අලුතින් ඉදිකරන තොරතුරු මධ්‍යස්ථානයේ වන්දනා කරුවන්ට පූජනීය ස්ථාන පිළිබද සහ ඒවායේ පුජා කටයුතු සම්බන්ධ විස්තරත් වන්දනා කරුවන්ට ලබා දෙනවා. පූජා වට්ටිවල මිල ගණන් සහ නවාතැන් පිළිබඳ විස්තරත් ලබා දෙනවා.ආබාධිත වන්දනා කරුවන්ට රෝද පුටු ආදිය ලබා දෙනවා  නවාතැන් සපයන ඕනෑම කෙනෙකුට මෙහි ලියාපදිංචි වීමට පුලුවන්. ඒ අනුව එම පුද්ගලයින්ගේ නවාතැන් පිළිබඳවත් වන්දනාකරුවන් දැනුවත් කරන අතර ඉංග්‍රීසි,සිංහල සහ දෙමළ යන භාෂා තුනම දන්නා නිලධාරියෙක් පත් කරනවා එමගින් විදේශිකයින්ට පවා මෙම ස්ථානයේ සේවය ලබා ගත හැකියි.“යැයි අධ්‍යක්ෂවරයා කීය.