(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ චූටි කපුවා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (19) පොලිසියට බාර වීමෙන් අනතුරුවය.
ඒ සම්බන්ධයෙන් එම සැකකරුගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී යෙක් පැවසීය.
රන් තැටිය අස්ථානගත කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධූරය හොබවන සොමිපාල ටී රත්නායක සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නැතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කිය.
ඉකුත් 11 වෙනි දින එම කපුවන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කතරගම බලා පිටත්ව ගියද ඔවුන් පදිංචි නිවෙස්වල නොසිටීම හේතුවෙන් එහි ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට හිස් අතින් පැමිණීමට සිදුවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ගිය බවත් පැමිණි පසු ඒ බව දැනුම් දෙන බව නිවෙස් හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක එක බාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් පි පි ජේ නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමට පවසා තිබූ බව ජෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ගේ බිරිඳවන අබේසිංහගේ නිසංසලා නමැත්තිය සිය පුතුගේ අපල දුරු වීම සඳහා ඔහුගේ නම කොටා ,අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙස පවුම් 38 ක බරකින් යුත් රන් තැටියක් සාදා 2019 ජූලි මස 3 වෙනි දින කතරගම මහා දේවාලය වෙත පූජා කර තිබිණි.
එය පූජා කරන අවස්ථාවේදී තේවාව භාරව සිට ඇත්තේ අත් අඩංගුවට ගැනීමට සොයන සැකකාර සොමිපාල ටී රත්නායක නමැති ප්‍රධාන කපු මහතා බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පූජා කරන ලද එම රන් තැටිය සති දෙකකට පමණ පසු ප්‍රධාන කපු මහතාගේ කාමරයේ තබා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

