(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දරුවකුගේ සිහිනය සැබෑ කරගැනීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය 42 හැවිරිදි විවාහක කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන 57 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය කියයි
විවාහ වූ දා සිට දරුඵල නොමැති බැවින් අතවරයට පත් කාන්තාව සිය සැමියා සමඟ බියගම සියඹලාපේ ප්‍රදේශයේ සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා හමුවට ප්‍රතිකාර ගැනීමට ගොස් තිබිණි.
සිව් වතාවක් ඇය සැමියා සමඟ ආයුර්වේද වෛද්‍යවරයා හමුවට ගොස් තිබූ අතර කිසිදු සැක සංකා උපදවන කරුණක් ඇති නොවූ බැවින් ඉකුත් 12 වෙනි දින ඇය තනිවම වෛද්‍ය මධ්‍යස්ථානය කරා ගිය අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා ඇයට බලහත්කාරයෙන් ලිංගික අතවර කර තිබූ බව එම කාන්තාව සිදුකළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා මහත්මිය ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ

