කඩිනමින් සහන සලසන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්


නිමල කොඩිතුවක්කු
 
ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට උපරිම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු අදාළ අංශ භාර නිලධාරීන් වෙත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(21) උපදෙස් දුන්නේය.
 
ජල ගැලීම් හා ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව දැනුම් දුන්නේය.
 
ගංවතුර තත්ත්වය  පාලනය කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන ලෙසත් එහිදී අග‍්‍රාමාත්‍යවරයා  උපදෙස් ලබා දුන්නේය.
 
එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්  හා ප‍්‍රදේශීය ලේකම්වරුන් සමග සම්බන්ධව ආපදා සහන සැලසීමට පෙරමුණ ගන්නා ලෙස පළාත් සභා හා ප‍්‍රදේශීය සභා ජනතා නියෝජිතයන්ගෙන් අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය. 
 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අමලනාදන් මහතා වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ. ඒ. එන්. සිල්වා මහතා   ජනතාවට සහන සැලසීමට අදාළ නිලධාරීන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පැහැදිලි කළේය.  සහන සැලසීමට අවශ්‍ය තරම් ප‍්‍රතිපාදන දිසාපතිවරුන් සතුව ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය  වාර්තා කළේය.