කඩවත පුද්ගලයන් 180 ක් ස්වයං නිරෝධායනයට


(කවිතා සුබසිංහ) 
 
කඩවත පොලිස් බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 180 දෙනකු මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි කඩවත පොලිසිය පවසයි.
 
ඒ අනුව ඉකුත් 17  වැනි දා සිට 24 වැනි දා දක්වා ගත වූ දින කිහිපය තුළ දී මෙම පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 
කඩවත පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 44 ක ග්‍රාම සේවක නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කඩවත පොලිසිය හා එක්ව මෙම පුද්ගලයන් හට අදාල උපදෙස් ලබා දී ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයිද පොලිසිය කියයි. 
 
ස්වයං නිරෝධායනය සඳහා යොමු කෙරුණු පිරිස් නිවෙස් තුළ රැදෙමින් ලබා දුන් උපදෙස් පිළිපදිමින් නිසි අයුරින් ස්වයං නිරෝධායන කටයුතු වල යෙදෙන්නේද නැද්ද යන්න සොයා බැලීම ට පොලිස් නිලධාරීන් යොමු කර ඇති බවත් පොලිසිය දන්වා සිටී.
 
කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්තිය අවම කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා ලබා දිය හැකි උපරිම සහයෝගය හා දායකත්වය නොපැකිලව ලබා දීමට කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීන්  ඕනෑම මොහොතක සුදානම් බවද පොලිසිය පවසයි.