කටුනායක ලොකු කරන්න ජපානයෙන් කෝටි 5400ක්


කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් සහ සංවර්ධනය කරලීමේ දෙවැනි අදියර ඇතුළත් ව්‍යාපෘතිය සඳහා අවන ගිවිසුමට ජපානයේ තෝකියෝ අගනුවර දී ජපාන අග්‍රමාත්‍ය ෂින්සෝ අබේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහත්වරු අත්සන් කළහ.

කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කැර සංවර්ධනය සඳහා ජපාන රජය යෙන් බිලියන 45ක් (රුපියල් කෝටි 5400ක්) වැය කිරීමට අපේක්ෂිතය.

ශ්‍රී ලංකාවේ නැගී සිටීම් මෙන්ම කඩා වැටීම් හමුවේ ද, අර්බුදකාරී අවස්ථාවන් හි දී ද, ජපානය සැබෑ මිතුරකු ලෙස සහය දැක්වූ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඓතිහාසික සබඳතා තව තවත් ශක්තිමත්ව හා නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය ඉවහල් වූ බව ය.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ අයෝජන ප්‍රවර්ධනය, ජාතික සංවර්ධනය, සාමය ගොඩ නැංවීම, ජාතික සංහිඳියාව යන ක්ෂේත්‍ර තුන සඳහා ජපානය විශේෂ සහයක් දෙන බව ද ෂෙන්සෝ අබේ මහතා පැවසීය.