කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සැප්තැම්බර් අගදී


(තිළිණි ද සිල්වා)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ මාසය අග දී ආරම්භ කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (02) පැවසීය.

කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මඟීන් හැසිරවීමේ වර්තමාන ධාරිතාව, වසරකට මගීන් මිලියන 6ක් වන අතර එම සංඛ්‍යාව  මිලියන 15ක් දක්වා වැඩි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවත්, එමගින්  ගුවන්තොටුපළේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව හා පාරිභෝගික සේවා පුළුල් කෙරෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සඳහා ජපන් රජය ජපන් යෙන් මිලියන 74,397ක ණය මුදලක් පිරිනමා තිබෙන අතර  ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම මේ සඳහා වැය කරන මුදල රු.මිලියන 21,645ක් යැයිද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අදියර දෙකක් යටතේ සිදුවන අතර පළමු අදියර සඳහා වැය කෙරෙන මුදල රු.බිලියන 108ක් වන බවත් , එය වසර 3කින් එය නිම කිරීමට නියමිත බවද සංචාරක අමාත්‍යවරයාකීය.

පළමු අදියර යටතේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල හා සම්බන්ධ ගොඩනැගිලි, මගී පාලම්, වැසි ජල අපහරණ පද්ධතිය, උස් කරන ලද මාර්ග, විදුලි බලය, ජල සැපයුම් හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය, දහන යන්ත්‍ර හා සංයුක්ත යන්ත්‍රෝපකරණ, මහල් 5කින් යුක්ත රථගාලක් ද ඉදිකිරීමට නියමිතය.

මෙහි දෙවන අදියර යටතේ  යටතේ යන්ත්‍රාංගනය, ප්‍රවේශ මාර්ගය, රැඳවුම් පොකුණ, වැසි ජල අපහරණ පද්ධතිය ඉදිකෙරෙන අතර එහි සංවර්ධන කටයුතුවලින් 80% ක් පමණ මේ වන විට අවසන් කර ඇති අතර මේ සඳහා ඇස්තුමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 6ක් බවද අමාත්‍යවරයා පෙන්වාදේ.

මෙම ඉදිකිරීම් නියමිත ව්‍යාපෘති කාලය තුළ අවසන් කිරීමට අදාල කොන්ත්‍රාත් සමාගමට උපදෙස් දී ඇති අතර මේ සම්බන්ධයෙන් පූර්ණ අධීක්ෂණයක නිරතව නියමිත කාලයේදී එම ව්‍යාපෘතිය අවසන් කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා  ගුවන්තොටුපළ හා ගුවන්තොටුපළ සේවා සමාගම් බලධාරීන්⁣ට උපදෙස් ලබා දී ඇත.