කටුනායක අවට අහසේ සරුංගල් යැවීම අවදානම්


(ටී.කේ.ජී.කපිල)
 
                   
කටුනායක ගුවන් තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීම, ගුවන් යානාවල ගමන් වලට බාධා ඇති කරන නිසා මෙම ප්‍රදේශයේ සරුංගල් යැවීමෙන් වැළකී සිටින්නැයි ගුවන් තොටුපොළ රාජකාරී කළමනාකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
               
ශ්‍රී ලංකාවේ සරුංගල් වාරය , දෙවැනි පාසල් නිවාඩු සමයත් සමඟ ආරම්භ වීමට නියමිත හෙයින් , පසුගිය වසරවල අත්දැකීම් මත මෙම ඉල්ලීම ප්‍රදේශයේ ජනතාව වෙත ඉදිරිපත් කිරීමට කළමනාකාරවරයා පියවර ගෙන තිබේ .
 
මඩවල , මාදුව , කළහපිටිය , පීල්ලවත්ත ආදී කුඹුරු යාය සහිත ප්‍රදේශවල  මෙම සරුංගල් යැවීම ඉදිරි අගෝස්තු මාසය තුළ බහුලව සිදුවන හෙයින් , එම ප්‍රදේශ ඔස්සේ ගුවන් යානා ද ඉතා පහතින් ගමන් ගන්නා නිසා මෙම සරුංගල් එම යානාවල පැටලී අනතුරු සිදුවිය හැකි බැවින් ගුවන් තොටුපොළ අවට ප්‍රදේශවාසීන් මේ පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු බව කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඒකනායක මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවැසීය .  
 
විශාල සරුංගල් ඉදිරි කාළ වලදී විශාල වශයෙන් උදෑසන සිට සවස් වනතුරු ගුවන් තොටුපොළ අවට ඉහළ අහසේ යැවීම නිසා කටුනායක ගුවන් තොටුපොළ මෙන්ම ගුවන් යානාවල රේඩාර් පද්ධති වලට මෙම සරුංගල් අපහැදිලි අවුල් සහගත දර්ශන ඇති කිරීම තවත් අනතුරුදායක කටයුත්තක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය .