කටුගස්තොට කුණු කන්දත් අවදානම් තත්ත්වයේ


(මොහොමඩ් ආසික්)

මහනුවර  මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක කැළි කසල බැහැර කිරීමට යොදා ගනු ලබන කටුගස්තොට ගොහාගොඩ තේක්කවත්තේ පිහිටි කුණු කන්ද ද අවදානම් තත්වයේ පවතින බවත් එමගින් දැඩි පරිසරික හානියක් සිදු වන බවත් ප්‍රදේශවාසීහු පවසති.

හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ  පිහිටි මෙම ඉඩම 1931 වැනි ඈත කාලයේ මහනුවර මහ නගර සභාවට ගැසට් පත්‍රයක් මගින් පවරා ගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති. මේ සම්බන්ධයෙන් සොයා බලන්නට පසුගියදා එහි ගිය අපට හමු වූ එම ප්‍රදේශයේ පදිංචි කරුණාතිලක මැදගොඩ මහතා ප්‍රකාශ මෙසේ කීය.

‘‘මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ වගේම තවත් පළාත් පාලන ආයතනවල කැළි කසල අපද්‍රව්‍ය සියල්ල මෙම ස්ථානයට බැහැර කිරීම නිසා මේ අසල පදිංචි කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනෙකු විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. ඒ වගේම මහනුවර හා තදාසන්න ජල  යෝජනා ක්‍රමයට ජලය ලබා ගන්නා මහවැලි ගඟ පිහිටා තිබෙනවා. මෙම කසල කන්දෙන් ගලා යන අප ජලය මහ වැලි ගඟට මුසු වෙනවා. එම නිසා විශාල පාරිසරික හානියක් වෙනවා. අපි හුඟක් ඉස්සර ඉදන්ම මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් වග කිව යුතු අංශ දැනුවත් කළත් කිසිම පිළියමක් ලබා දීලා නෑ. 

අපි මේ ස්ථානයේ කසල දාන්න එපා කියලා කියන්නේ නෑ. නමුත් මේ වටේ ජීවත් වන ජනතාවට හානියක් නොවන ආකාරයට ඒක කරන්න කියලයි ඉල්ලන්නේ. මේ ස්ථානයේ කසල ප්‍රතිචක්‍රිකරණ ව්‍යපෘති කිහිපයක්ම ආරම්භ කළත් ඒ එකක්වත් ස්ථීර වෙලා නෑ.‘‘ ඒ නිසා තවමත් මේ කසල කන්ද අවදානම් තත්වයේ පවතින බවත්   ඇතැම් අවස්ථාවල මෙම ස්ථානයේ ගලී හලන බවද ඔහු කීය.

මෙම කසල කන්දේ දුර්ගන්ධය කිලෝ මිටර් ගණනක් දුරට විහිදෙන අයුරු එහි යන අයට විද  ගන්නට ලැබේ.  මෙම කසල කන්දෙන් ගලා යන අප ජලය මහවැලි ගඟට මුසු වී සිදුවන පාරිසරික හානිය වගේම පානීය ජලය සමඟ මුසු වීම නිසා කෙතරම් හානිකර තත්වයන් ඇති වන්නේද යන්න කිව  නොහැකි බවද ප්‍රදේශවාසීහූ කියති. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම ස්ථානයේ විධිමත් කසල ප්‍රතිචක්‍රීය ක්‍රමවේදයක් සකස් කර ජනතාවට පීඩාවක් නොවන ආකාරයෙන් කසල බැහැර කිරීමට කටයුතු කරන්නේ නම් තමන්ට තාවකාලිකව හෝ අස්වැසිල්ලක්  ලැබෙන බවයි.