කටාර් රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්


කටාර් රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පස්වරුවේ කටාර් රජ මාළිගාවට ගිය අතර   කටාර් රජු වන තමීන් බින් අහමඩ් අල් තානි එමීර්වරයා විසින් ඉතා උණුසුම් ලෙස ජනපතිවරයා පිළිගනු ලැබීය.

ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරයක් ද පිරිනැමිණි.

නායකයින් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

දෙරටේ තානාපති නිලධාරින්, රාජ්‍ය නිලධාරින් හා විශේෂිත ගමන් බලපත්‍රලාභීන්ට වීසා රහිතව රටවලට ඇතුළත්වීමට අවස්ථාව සලසා දීම සඳහා වූ ගිවිසුමට  ද  අත්සන් තැබුණි.  

ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, බලශක්ති, ජල කළමනාකරණ, සෞඛ්‍ය සහ මුල්‍ය ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කෙරෙන නව ගිවිසුම් 07 කට    දෙරටේ නියෝජිතයෝ අත්සන් තැබූහ.