කංජිපානි ඉම්රානුත් රහස් පොලිස් බාරයට


(නිමන්ති රණසිංහ සහ කේ.ටී.ජී කපිල)

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් නම් සැකකරු ද ලංකාවට එවනු ලැබ රහස් පොලිසිය බාරයේ සිටින බව පොලිස් ආරංචි කියයි.

කටුනායක ගුවන් තොටුපොළ රහස් පොලිස් ඒකකයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බවත්, ඉදිරියේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

ඔහු සමඟ  එරටින් පිටුවහල් කළ තවත් තිදෙනෙකුද ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ද රහස් පොලීසියබාරයට ගෙන ඇත.

ඔහු අද උදෑසන  6.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 547 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .

ඩුබායි පොලීසිය විසින්  ඔහු  පිටුවහල් කිරීමෙන් පසු  මාල දිවයින බලා යෑමට පැමිණෙන බවට කල් ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබී  ඇත . මෙරට ආරක්ෂක අංශ ඒ පිළිබඳව අවධානයෙන් සිට තිබේ.

ඔහු පැමිණි පසු ගුවන් තොටුපළ ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්  විසින්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාර දී ඇති අතර අනතුරුව ඔවුන්  විසින් රදවා තබා ගනිමින් මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ .