කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ


(ඉන්දිකා රාමනායක)

රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ  කල්ලි නායකයකු වශයෙන් හැදින්වෙන  කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ  කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්  සමීප සම්බන්ධකම් පවත්වන බවට   ලැබුණු  පැමිණිල්ලක්  විමර්ශන සදහා  වැඩබලන පොලිස්පති  චන්දන වික‍්‍රමරත්න මහතා විසින්  බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා  වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 

 රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ සිටි කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා මාගල්කන්දේ සුදත්ත හිමියන්  පසුගියදා පොලිස් මුලස්ථානයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
 
කොළඹ අපරාධ කොට්ඨසයේ දී කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ උපන්දිනය ද සමරා ඇති බවටත් පොලිස් නිලධාරීන් සමඟ සිනා සෙමින් කථා කරමින් සිටින වීඩියෝ පටක් ද සමඟ සුදත්ත හිමියන්ගේ මෙම පැමිණිල්ලේ ඉදිරිපත් කර  තිබුණි.
 
වැඩබලන පොලිස්පතිවරයා  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වෙත යොමු කර ඇති එම පැමිණිල්ල  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු යටතේ   විභාග කරන බවද   පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
 
 මෙම පරීක්ෂණයෙ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්  කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග සම්බන්ධකම් පවත්වා ඇති බවට හෙළි වුවහොත් ඔවුන්ට එරෙහිව  දැඩි කි‍්‍රයා මාර්ගා ගන්නා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.