ඖෂධ හිඟයට පිළියම් හොයන්න සමහර නීති හරස්වෙලා


(අංජුල මහික වීරරත්න)

ඖෂධ හිඟයට පිළියම් සෙවීමට පවතින සමහර නීති රීති බාධා වී ඇති  බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

 තුනෙන් දෙකේ බලයක් තබාගෙන එම නීති රීති වෙනස් කිරීමට නොහැකිද යන්න කෙනෙකුට ගැටළුවක් සේ පැනනැගිය හැකි බව ද අමාත්‍යවරයා කීය.

 සමහර නීති රෙගුලාසි ගැටපු අද ඊයේ පැන නැගුණු ඒවා නොව බ්‍රිතාන්‍ය සමයේ සිට පැවත එන ඒවා බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව කීවේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කරමිනි.

සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධූරයෙහි වැඩ විසූ අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ කළ රෝහල් සේවා මණ්ඩලයේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙහි දී  රුපියල් කෝටි  දෙකක පමණ වටිනාකමින් යුත් රෝහල් හා වෛද්‍ය උපකරණ තොගයක් ද කොළඹ ජාතික රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ 68කි. මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 45ක මුදලක් ලබා දී ඇත. ඉතිරි මුදල රෝහල් සේවා මණ්ඩලය විසින් වැයකර ඇති අතර මෙහි ඉදිකිරීම් සදහා ශ්‍රම දායකත්වය නාවික හමුදාව විසින් ලබා දී ඇත.