ඖෂධ වැටලීම් වලින් රජයට ලක්ෂ 53 ක්


(ඉන්දිකා රාමනායක)

රාජ්‍ය ඔසුසලේ පමණක් විකිණීමට අවසර ඇති පිළිකා රෝගී වේදනානාශක ඖෂධ මත්ලෝලීන්ට අලෙවි කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා සිදුකළ වැටලීම්  වලින්  2017 වසරේ සිට මේ දක්වා රජයට රුපියල් ලක්ෂ 53 ට අධික මුදලක් උපයා දී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

මෙම ඖෂධ අවභාවිතය සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් 45 ක දී අත්අඩංගුවට ගත් මෙම  සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩ මුදල් වශයෙන් මෙම මුදල උපයාගෙන ඇති බවද නියාමන අධිකාරිය පවසයි.

මින් වැටලීම් වලින් 12 ක් පෞද්ගලික ඔසුසල් බවත් සෙසු පිරිස විදීවල රැදී සිටිමින්  මෙම  පෙති අලෙවි කරන්නන් බවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප‍්‍රධාන ඖෂධ හා ආහාර පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසීය.

පිළිකා රෝගීන් වෙනුවෙන් සහ  බරපතල ශල්‍යකර්ම කර ඇති රෝගීන්ට ලබාදෙන මෙම වේදනානාශක ඖෂධය විදේශ රටවල් කිහිපයකින්  ආනයනය  කරන බවත් ඒවා  අලෙවි කිරීමට  නීත්‍යානුකූල බලය ඇත්තේ රාජ්‍ය ඔසුසල් හා පෞද්ගලික රෝහල් වෙත පමණක් බවද  ඔහු කීය.

එසේ තිබියදී විවිධ ජාවාරම්කරුවන්  වෙනත්  නීතිවිරෝධී ක‍්‍රම ඔස්සේ මෙම ඖෂධ මෙරටට රැගෙන විත් ඒවා තැරැව්කරුවන් මගින් මත්ලෝලීන් වෙත අලෙවි කරන බවද පැවසේ.

පොලිසිය , බුද්ධි  අංශ,  ති‍්‍රවිධ හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අන්තරායකර  ඹෟෂධ පාලක මණ්ඩලය යන ආයතන මගින් ලබාදුන්  තොරතුරු මත  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ ආහාර හා ඖෂධ පරික්ෂක නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.