ඖෂධ පෙති - අලේපන තොගයක් කල්පිටියේ


(යොහාන් භාසුර)

කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සහ කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති, දියර සහ ආලේපන විශාල තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් සිව් දෙනෙක් භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.  

මුහුදු මාර්ගයෙන් කෙරෙන ජාවාරම් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු කරන බව ද නාවික හමුදාව කීය.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් උච්චමුනි නාවික අණුඛණ්ඩය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සහ කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, කරුවලකුඩා වෙරළ තීරයට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කළ බවත් එහිදි එම ඩිංගි යාත්‍රාවෙන් රැගෙන විත් කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ සඟවූ උර දහ හතක අසුරා තිබූ ඖෂධ පෙති හරදහස් හයසිය පහක් (4605), ඖෂධීය ආලේපන පහලොස් දහස් හයසිය විසිහතක් (15,627), ඔෂධ දියර බෝතල් හාරසිය අනුහතරක් (494) සහ ඔෂධ පැකට් හාරදහස් විස්සක් (4020) සමඟ  සැකකරුවන් සිව් දෙනෙකු සහ  ඩිංගි යාත්‍රාවක් මෙලෙස භාරයට ගත් බවත නාවික හමුදාව කීය.

 මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 සහ 32 අතරේ පසුවන කල්පිටිය, තෝරයාඩි ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගත් බව කී නාවික හමුදාව එම සැකකවන්, ඖෂධ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය භාරදුන් බව ද වැඩි දුරටත් සඳහන් කළේය.