ඕස්ට්‍රේලියාවේදී මිනීමැරූ ලාංකිකයා හිරගෙට


ඕස්ටේ‍්‍රලියාවේ දකුණු ඇඩිලේඩ් හි සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකික  සරණාගතයෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය වසර 20ක සිර දඬුවම් නියම කළ බව  ඕස්ටේ‍්‍රලියාවේ ඒ.බී.සි පුවත්සේවය අද (28) වාර්තා කළේය.

මෙලෙස සිර දඬුවම් නියමවූයේ සතීෂ්වරන් සුප්පයියා (31) නමැති ලාංකික සරණාගතයෙකුටය.

ගිය වසරේ ජනවාරි මාසයේදී පිහියකින් ඇන පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනා මත පවරා තිබූ නඩු විභාගයේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්  ඕස්ටේ‍්‍රලියා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම සිර දඬුවම් නියම කරන ලදී.

චූදිත ලාංකික සරණගතයා එම පුද්ගල ඝාතනය සිදුකළ අවස්ථාවේදී බීමතින් සිට ඇති අතර , අදාළ ඝාතනය සිදු කිරීමට යොදාගත් තියුණු ආයුධය සහ ඔහු එම අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් සැඟවීමට කටයුතු කළ බවට එම නඩු විභාගයේදී ඔහුට එල්ල වූ චෝදනා විය.

කරුණු සලකා බැලූ  ඕස්ටේ‍්‍රලියා ශ්‍රේෂ්ඨාධිකරණය පුද්ගල ඝාතනයට ලබාදෙන අවම සිර දඬුවම වශයෙන් චූදිත ලාංකිකයාට එරෙහිව වසර විස්සක සිර දඬුවම නියම කර තිබේ.