ඕස්ට්‍රේලියාවේ කටුස්සෝ ගුවනින් කටුනායකට එති


(ටී.කේ.ජී.කපිල )
 
                      
කටුස්සන් වැනි සත්ව විශේෂයක් ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එවා තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
                    
මෙම සතුන් ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පූරුව වෙත ගෙනැවිත් එතැන් සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ එම භාණ්ඩ ප්‍රවාහනය කරන ජාත්‍යන්තර සමාගමක කාර්යාලය වෙත එවා තිබිණි.
 
                  
භාවිතා කළ පරිගණකයක් සේ හඳුන්වමින්  කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ ලිපිනයට එවා තිබූ මෙම ගුවන් භාණ්ඩ පාර්සලය බාර ගැනීමට අදාළ පුද්ගලයාට දැන්වූවද ඔහු නොපැමිණීම නිසා මෙම පුද්ගලයා සහ ලිපිනය පිළිබඳව සොයා බැලූ රේගු නිලධාරීන් ඒවා ව්‍යාජ ඒවා බව දැන ගැනීමෙන් පසුව පාර්සලය එම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ආයතනයේ නිලධාරීන් ඉදිරිපිට දී විවෘත කර පරීක්ෂා කර බලද්දී මෙම සතුන් 32 ක් , එම පරිගණකය  තුළවූ කුඩා රෙදි මළු 5 ක දමා සිටියදී සොයාගෙන තිබේ.
 
                  
මෙම සත්ව විශේෂය බටහිර රටවල සුරතලයට ඇති කරන බව ප්‍රකාශ වුවද මෙම සතුන්ගේ ශ්‍රී ලංකාවට ආක්‍රමණශීලී ද ඔවුන් අනවශ්‍ය ප්‍රමාණයෙන් බෝවීම සිදු වන්නන් ද මොවුන් පරපෝෂිතයන් විශේෂයක් ද අප රටේ කෘෂි බෝග වගාවන්ට හානිකර සත්ව විශේෂයක් ද 
රෝග කාරක පතුරුවන විෂ සහිත සත්ව විශේෂයක් ද යන්න රේගු නිලධාරීන් තවමත් අනාවරණය කර ගෙන නොමැත.
 

මෙවැනි සතුන් ශ්‍රී ලංකාවට ආනයනය  කිරීමේ දී  එරට සත්ව  නීරෝධායන ආයතන වල වලින් සහතික කිරීම් අත්‍යාවශ්‍ය වන අතර මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත සත්ව නීරෝධායන ආයතනවල නිර්දේශ ද මොවුන් රට තුළට නිදහස් කිරීමේ දී අවශ්‍ය වේ.
 
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝණය වීමක් බව රේගු නිලධාරීන් සඳහන් කරයි.