ඕස්ට්‍රේලියා අගමැති නොවැම්බර් 2වැනිදා ශ්‍රී ලංකාවට


ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් ලබන නොවැම්බර් 2වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත අතර ටර්න්බුල් මහතා කියා සිටියේ මේ වසර ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික සබඳතාවයට වසර 70ක් පිරෙන බැවින් එවැනි මොහොතක ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම තමාට සතුටක් බවයි.

මේ වසරේ ශ්‍රී ලංකා ජනපති හා අගමැතිගේ ඕස්ට්‍රේලියා සංචාරවලදී ඔවුන් මුණගැසී සාකච්ඡා කිරීමට ලැබීම ද තමාට සතුටක් බව ඕස්ට්‍රේලියා අගමැතිවරයා කියා සිටී.

දෙරට අතර ආර්ථික සබඳතාවය ශක්තිමත් කරගැනීම සඳහා සාකච්ඡා තවදුරටත් සිදුකරගෙන යාමට අපේක්ෂා කරන බවත් විශේෂයෙන්ම පුද්ගල ජාවාරම් ඇතුළු අන්තර්ජාතික අපරාධ මර්දනය සඳහා දෙරට එක්ව කටයුතු කිරීමේ වැදත්කම සාකච්ඡා කිරීමට යන බවත් ටර්න්බුල් මහතා ප්‍රකාශ කර සිටී.