(දසුන් රාජපක්ෂ)
රාජ්‍ය සේවකයන්ට පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණිලි කළ හැකි බව එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (27) සඳහන් කළේය.
එහෙත් එම පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ 2015 වසරේ සිට 2019 දැක්වූ කාලසීමාව අතර සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳව බවද කොමිසමේ සභාපතිවරයා පැවසීය.
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණිලි කළ හැක්කේ රාජ්‍ය සේවකයින්ට පමණක් බව අද (27) මෙම කොමිසම හමුවේ වගඋත්තරකරුවකු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශානක ද සිල්වා මහතා කළ දැනුම්දීමක් කෙරෙහි අවධානය යොමු කළ කොමිසමේ සභාපතිවරයා එලෙස කියා සිටියේය.
මෙම ජනාධිපති කොමිසම හමුවේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වූ රෝහිත බෝගොල්ලාගම මහතා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් අද විභාගයට ගත් අවස්ථාවේ මෙම සිදුවීම විය.
එම පැමිණිල්ල මගින් තමාට එරෙහිව අසත්‍ය තොරතුරු පදනම් කරගෙන අල්ලස් කොමිසම හමුවේ නඩු පැවරීම හරහා දේශපාලනිකව පළිගෙන ඇති බව රෝහිත බෝගොල්ලාගම මහතා සඳහන් කර සිටියි.
එම පැමිණිල්ල අද යළි කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවකු ලෙස නම් කොට සිටින අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශානක ද සිල්වා මහතා පැමිණිලිකරු අමාත්‍යවරයෙකු ලෙස සිට ඇති බවත් අමාත්‍යවරයෙකු රාජ්‍ය සේවකයෙකු නොවන බවත් කොමිසම හමුවේ දැනුම් දුන්නේය.
ඒ හේතුවෙන් මෙම ජනාධිපති කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට රෝහිත බෝගොල්ලාගම මහතාට නෛතික ප්‍රතිපාදන නැති බව පැවසූ ජනාධිපති නීතිඥ ශානක ද සිල්වා මහතා ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ 2006 වර්ෂයේ වූ සිදුවීමකට අදාළව බැවින් එම වර්ෂය කොමිසම පැමිණිලි විමර්ශනය කරන කාලසීමාව පෙර වූ සිදුවීමක් බව දන්වා සිටියේය.
එබැවින් රෝහිත බෝගොල්ලාගම මහතා කළ පැමිණිල්ල 2015 සිට 2019 අතර කාලය තුළ වූ සිදුවීමක්ද යන්න සොයාබලා ඉදිරියේදී දැනුම් දෙන බව කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

