ඕඅයිසීලා දාහක් ගමේම පොලිසියේ බින්න බැහැලා


(සුජිත් හේවාජුලිගේ )

දිවයින පුරා පොලිසිවල ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් 5308 දෙනාගෙන් 1106 දෙනකුම රාජකාරී කරන්නේ තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින පොලිස් බල ප්‍රදේශයේම බව මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට බාරදී ඇති අධ්‍යයන වාර්තාවක සඳහන් වේ.

තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයේම රාජකාරී කරන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාව 44ක් බවද එම වාර්තාවේ දැක්වේ.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 7.2කි.

තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයේම රාජකාරී කරන ස්ථානාධිපති හෝ අංශභාර ස්ථානාධිපති තනතුරු දරන වැඩි පිරිසක් සිටින්නේ මන්නාරම පොලිස් කොට්ඨාශයයේය. එසේම තම යාබද වසම තුළ ස්ථිරව පදිංචිව සිටිමින් රාජකාරී කරන පොලිස් ස්ථානාධිපති අංශභාර ස්ථානාධිපතිවරුන් වැඩි පිරිසක් මන්නාරම සහ මාතර පොලිස් කොට්ටාස වල සිටින බව එම වාර්තාව සඳහන් කරයි.

තමා ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයන්හි සහ යාබද පොලිස් වසමේ පදිංචිව සිටින ස්ථානාධිපතිවරුන් සහ අංශ භාර ස්ථානාධිපතිවරුන් සේවය කරන කුට්ඨාශ තුළ අපරාධ ඉහළ ගොස් ඇති බව තොරතුරු අනාවරණයවී ඇතැයි පෙන්වා දෙන වාර්තාව අනුරාධපුර කොට්ඨාශය ඊට කදිම නිදසුනක් බවද සඳහන් කරයි.

පසුගිය ආසන්න වසර තුනක දිවයිනේ වැඩිම අපරාධ වාර්තා වූ පොලිස් කොට්ඨාශය ලෙස හඳුනාගෙන ඇත්තේද අනුරාධපුරයි.

පොලිස් ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් තමන් පදිංචි පොලිස් වසමේම රාජකාරී කිරීමෙන් පක්ෂග්‍රාහීව ක්‍රියාකිරීම කාර්ය සාධනය අව ප්‍රමාණය වීම, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට පසුබට වීමඥාති සංග්‍රහය සඳහා පෙළඹවීම වැනි ගැටලු රැසක් මතුවී තිබෙන බව එම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇත.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම අධ්‍යයනය කර කරනු ලැබ ඇත්තේ උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.