ඔස්ට්‍රේලියානු අගමැති ලංකාවේ විදිහට කෑම වේලක් උයයි


ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ශ්‍රී ලාංකික ආහාර වේලක් පිසින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබිණි.

සිය දියණියන් දෙදෙනා සහ බිරිඳ එම ආහාර වේලට ඉතා කැමැති බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි.

ආහාර පිසින අයුරුත් රම්පේ, කරපිංචා ආදිය දැක්වෙන ඡායාරූපත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියට පත් කර තිබිණි.

‘‘සෙනසුරාදා රෑ කියන්නේ මාළු පිනි හදන දවස. ඔක්කොම ශ්‍රී ලංකාවේ කෑම. දියණියන් දෙදෙනාත්, බිරිඳ ජෙනුත් ඊට කැමැතියි. තාමත් මෙල්බර්න් නුවර ඉන්න හැමෝම ගැන හිතනවා. ලොක්ඩවුන් මධ්‍යයේ වුණත් හැමෝම තම තමන්ට පුළුවන් විදියට කෑම වේලාවක් හදාගෙන ඇති කියලා හිතනවා’’ යැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ෆේස්බුක් හි දැමූ සටහනේ දැක්විණි.

නව කොරෝනා වයිරසය නැවත වරක් වේගයෙන් පැතිර යෑම හේතුවෙන් මෙල්බර්න් නුවරට අගුළු දමා ඇත.

මේ අතර ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික රැඳවුම් භාරයේ පසුවන ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලක් සිහිපත් කරමින් සහ අග්‍රාමාත්‍යවරයාගේ ෆේස්බුක් සටහන මුල් කරගනිමින්, අගමැති මොරිසන්ට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් ද එල්ල වී තිබිණි.

ඩේලිමේල් ඇසුරින්

055