ඔසරිපොටේ වාර්තාව ගඟේ ගියාද ?


බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන

ලොව දිගම ඔසරි පොටේ සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියගේ නියෝගය අනුව සිදුකළ වාර්තාවක් සකස් කර මීට සති දෙකකට පෙර ආණ්ඩුකාර කාර්යාලයට යොමු කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි. ආණ්ඩුකාරවරියගේ නියෝගය අනුව පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් වාර්තාවක් ඉල්ලුවද එම වාර්තාව මෙතෙක් ලැබී නැති බව ආණ්ඩුකාර ලේකම් තිස්ස කරුණාරත්න මහතා පවසයි. මේ අනුව එම වාර්තාවට කුමක් සිදුවීදැයි ගැටළුවක් මතුවී තිබේ.

මහනුවර පෞද්ගලික ආයතනයක් විසින් සංවිධානය කරන ලද ලොව දිගම ඔසරි පොට වැඩසටහන සඳහා කටුගස්තොට සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ළමයින් 251 ක් සහභාගී කරවීම සම්බන්ධව ‘ලංකාදීප’ පුවත්පත අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් විමසා බලා  එම වාර්තාව ලබා දෙන ලෙස දැනුම් දී තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිකුත් කළ විගණන විමසුම පාදක කරගෙන පසුගිය වසරේ දෙසැම්බර් හය වැනිදා ‘ලංකාදීප’ සත්‍ය ගවේෂණ විශේෂාංගය මගින් කරුණු අනාවරණය කළ පසු එම ලිපියේ පිටපතක් අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කරමින් පරීක්ෂණ වාර්තාවක් කැඳවී යැයි ආණ්ඩුකාර ලේකම්වරයා කීවේය.

රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ද මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට පසුගිය වසරේ සැප්තැම්බර් 9 වැනිදා වාර්තාවක් යොමු කළේ යැයි කී හෙතෙම ඒ සම්බන්ධයෙන් ද මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවූව ද එයට ද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි  චෝදනා කළේය. 

එහෙත් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සැකැසූ පරීක්ෂණ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට යොමු කර මේ වනවිට සති දෙකකට ආසන්න කාලයක් ගතව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ සහකාර පාලන අධ්‍යක්ෂ යූ.බී.ඒකනායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

අදාළ සිදුවීම නිසා සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන පරිපාලන පැය 1294 ක් නාස්ති වී පාසලේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී යැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ විගණන අංශය පසුගිය ඔක්තෝම්බර් 4 වැනිදා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාට විගණන විමසුමක් යොමුකරමින් අනාවරණය කළේය.

අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛ විධි විධානවලට අනුකූල නොවන කටයුත්තක් සඳහා පාසල් ළමුන් සහභාගී වී ඇතැයි ද පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ විශේෂ අවසරයකින් තොරව එය සිදුකර ඇතැයි ද විගණන විමසුමෙහි සඳහන් විය.

විදුහල්පතිවරයාට පිටපතක් සහිතව කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇමතූ අංක සීපීසී / සීඑම්/ 06/01 හා 2017 සැප්තැම්බර් 12 දිනැති ලිපිය මගින් මෙම ළමයින් සම්බන්ධකරගැනීම සඳහා මූලිකවම ඉල්ලීම් කරනු ලැබ තිබුණේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක විසින් යැයි ද එහි වැඩිදුරටත් සඳහන්ව තිබිණි.