ඔලිම්පික් යන්න බොක්සිං බර පංතීන් දෙකකින් තේරීම්


ලන්ඩන් නුවරදී ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ආසියානු බොක්සිං ක‍්‍රීඩකයන්ගේ තරගාවලියේ කිලෝග‍්‍රෑම් 52 සහ කිලෝග‍්‍රෑම් 56 බර පංති දෙකක් සඳහා ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයන් සහභාගි කරවීමට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය කටයුතු යොදා තිබේ. ඒ සඳහා වන තේරීම් තරග මේ මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා පානදුර යුනිචෙලා ආයතන බොක්සිං ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. අපේ‍්‍රල් මස 4 වැනිදා සිට 13 වැනිදා දක්වා කසකස්තානයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියට ආසියානු කී‍්‍රඩකයන්ට සුදුසුකම් ලබා ගත හැකි අවසන් අවස්ථාව වේ. බර පංති 11 ක් යටතේ තරගාවලිය පැවැත්වුණද, කිලෝග‍්‍රෑම් 52 ෆ්ලයි සහ කිලෝග‍්‍රෑම් 56 බැන්ටම් බර පංති කෙරෙහි පමණක් ශ්‍රී ලංකාව විශ්වාස තබා තිබේ. තරගාවලියේදී 52 බර පංතියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන ක‍්‍රීඩකයන් සිවුදෙනාට සහ 56 බර පංතියේ පළමු ක‍්‍රීඩකයන් තිදෙනාට ඔලිම්පික් වරම් හිමිවීමේ වාසිය මත මෙම බර පංති දෙක තෝරා ගෙන තිබේ. තේරීම් තරග සඳහා 2010 සහ පසුගිය වසරේ පැවැති ප‍්‍රධානතම දේශීය බොක්සිං තරගාවලිවලදී මෙම බර පංති දෙකේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගත් ක‍්‍රීඩකයන්ට ඉදිරිපත්විය හැකිය. ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ පී. ඞී. සුරේෂ් ෆ්ලයි බර පංතියේ ජාතික ශූරයා වන අතර යුද හමුදාවේ ආර්. ටී. වීරක්කොඩි බැන්ටම් බර පංතියේ ශූරයා වේ.