ඔන්ලයින් පනතට මැතිසබා කමිටුවේ අනුමැතිය


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක් අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.

පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව  විපක්ෂ මන්ත්‍රීවරු  කමිටුවට පෙන්වා දුන්හ.

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී  ලලිත් වර්ණකුමාර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (22) රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.


මෙම රැස්වීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ රාජ්‍ය නොවන සංවිධානවල ජාතික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීහු සම්බන්ධ වූහ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ගයන්ත කරුණාතිලක,  ඉරාන් වික්‍රමරත්න සහ  චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරු මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කර  සංශෝධන සිදු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කාරුණු සංශෝධන විය යුතු බවත් කමිටුවට පෙන්වා දුන්හ.

මේ නිසා මෙම පනත් කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවේදී සම්මත නොකර  තවදුරටත් කාලය ලබාගැනීම වැදගත් බව ඔවුහු පෙන්වා දුන්හ.

මේ අනුව මෙම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුවත් කිරීම  කරන බව කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.