ඒකාබද්ධයේ රැලිය ඉතිහාසයේ දැවැන්තම හා දීර්ඝතම රැලියයි


(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාවය ලංකා ඉතිහාසයේ දැවැන්තම සහ දීර්ඝතම විරෝධතාවය බවත් ඒ සදහා ලක්ෂ දෙකට අධික ජනතාවක් සහභාගී වූ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා කොළඹදී  පැවසීය.

විරෝධතාවය හේතුවෙන් කොළඹ නගරය මුලූමනින්ම අකර්මන්‍ය වී ආණ්ඩුවට කර කියා ගැනිමට  නොහැකි වූ බවද මන්ත‍්‍රිවරයා සඳහන්  කළේය.

බත්තරමුල්ල නෙලූම් මාවතේ  පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ  අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේද කීවේය.


  ‘‘ අපි උද්ඝෝෂණ, සත්‍යග‍්‍රහ දැකළා තියෙනවා. ලංකා ඉතිහාසයේ  මෙතෙක් දීර්ඝතම වේලාවක් වැඩිම ජනතාවක් සහභාගීවූ සාර්ථකම විරෝධතා වයාපාරය අපිට කොළඹදි පැවැත්වීමට අවස්ථාව ලැබුණ.

05 වැනිදා  පස්වරු 12.00 වනවිට  පෞද්ගලික  අංශයේ සහ රාජ්‍ය අංශයේ සියලූම  කාර්යාල වසා දාලා ඉවරයි. ඊයේ දවසේ කොළඹ පාසල් වල එක දරුවෙක් නෑ, එක ගුරුවරයෙක් නෑ. හවස දෙක වනවිට  කොළඹ නගරයේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල අපි ආක‍්‍රමණය කරලා ඉවරයි.

කොළඹ ජනාධිපති ලේකම්  මාර්ගයේ සිට සියලූ මාර්ග අපි ආක‍්‍රමණය කරලා ඉවරයි.  අපි මේ විරෝධතා පාගමන  හරියටම  12.00ට ආරම්භ කළා. රූ 12.00 වනතෙක් පුරා පැය 12ක් මේ විරෝධතාවය පවත්වන්න අපිට හැකියාව ලැබුණා.

මේ විරෝධතාවය  නැවැත්විම සදහා ආණ්ඩුව කරන්න පුලූවන් සියලූ උත්සාහයන් දැරුවා.  අධිකරණයේ වාරණ  නියෝග තුනක් ගන්න පොලීසිය උත්සාහ කළා.

විහාරමහාදේවි උද්‍යානයට 5000ක පොලිස් බළ ඇණියක්  ගෙනාවා. කදුලූ ගෑස් 3000ක් ගෙනල්ලා  බල ඇණි ගෙනල්ලා සියල්ල සැළසුම් කලා.  බස්රථ වැඩිම ප‍්‍රමානයක් එන  මහනුවර කොළඹ මාර්ගයේ නිට්ටඹුව  නගරයේ කලින් දවසේ ? මහා කානුවක් කැපුවා. මේක නවත්වන්න අවශය සියලූ උත්සාහයන්  මේ ආන්ඩුව යෙදුවා.

උදේ නමය දහය  වෙනකොට කොළඹට  දස අතින්ම මහා ජනතාවක් සහභාගි  වන බව ආන්ඩුව අවබෝධ කරගත්තා.  මේ නිසා ආන්ඩුව පසු බැස්සා. ආන්ඩුව ගෙනාපු පොලීසිය ආපසු බැරැක්ක වලට ගත්තා.